Tuesday, August 25, 2015

ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය!


ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව දේශ දේශාන්තරයන්හි ඉමහත් කීර්තියට හා සම්භාවනාවට පත් හෙළ විරුවෙක්‌ වූ රාවණ අධිරාජයා පිළිබඳව දශකයෙන් දශකය, සියවසින් සියවස, විවිධ මතිමතාන්තර පළවීම පුදුමයට කරුණක්‌ නොවේ.

රාවණයින් පිළිබඳව එවැනි උද්ඝෝෂණ, එවැනි මතිමතාන්තර පළනොවන්නේ නම් එය පුදුමයට කරුණකි. නමුත් රාවණයෝ මිත්‍යාවට බරවීම බුද්ධිමත් සැමදෙන විමසා බැලිය යුතු කරුණකි.

හිස්‌ දහයක්‌ අත් විස්‌සක්‌, ඇස්‌ විස්‌සක්‌, දත් 320 ක්‌ වශයෙන් රාවණ රූපය වර්ණනා කිරීම අද බොහෝ දෙනෙක්‌ කතා කරන මිත්‍යාවට හේතු භූත වූ බැව් අප පර්යේෂණවලින් තහවුරු වූ බැව් පළමුව කිව යුතුය. (The Cultured Heritage of King Rawana)

මිථ්‍යාව

ලෝකයේ පහළවන අන් සතුන්ට වඩා වෙනස්‌ යම් සත්ත්වයෙක්‌ සිටී නම් ඔහු හෝ ඇය මිථ්‍යාවට හසුවෙනු සැක නැත. මහා විෂ්ණු දෙවිඳුට එක්‌ හිසක්‌ සහ අත් හතරක්‌ පෙන්වා ඇත. එමෙන්ම ගණ දෙවිඳුට අත් හතරක්‌ අලි මුහුණක්‌, විශාල උදරයක්‌ ද ඔහුගේ වාහනය ලෙස මී පැටියෙක්‌ ද පෙන්වා ඇත. ස්‌කන්ධ දෙවි මුහුණු සයකින් හා අත් දොළොසකින් ද චිත්‍රයට නංවා ඇත. රාවණ චරිතය ඊටත් වඩා ඉහළින් වර්ණනා කළ චිත්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන් රාවණට හිස්‌ දහයක්‌ හා අත් විස්‌සක්‌ දී චිත්‍ර ගත කර ඇත. අතීතයේ ලේඛකයන් හා කවීන් ද රාවණා චරිතය අතිශයෝක්‌තියෙන් (EXAGGARATION) වර්ණනා කිරීම නිසා ධීර වීර රාවණයෝ ඇතැමෙකුගේ සැකයටත්, අවිශ්වාසයටත්, පාත්‍රවීම නිසා මිථ්‍යාවක්‌ ලෙස සැලකීමට සමහරු පුරුදු වූහ. (රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය. (එ)

මෑත ඉතිහාසයේ රාවණ රජතුමා ගැන තද විශ්වාසයෙන් සිටි විද්වතෙකි, ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ. එබැවින් සිය සැළලිහිණි සංදේශයේ එක්‌ පැදියකින් රාවණ රජතුමා පිළිබඳ සිහිගැන්වීමක්‌ කර ඇත.

තුන් ලෝ තමා නතුකළ රවුළු සොහොයු රූ

තුන්කල් බලා රමිඳුට ඉටු මිතු රූ

තුන් වේ ඇඳුරු පුලතිසි කුල මණ මිතු රූ

තුන් විටකම වඳු එසිරිඳු පා තඹු රූ 


තොටගමුවේ සිරි රහල් සඟ රජ මා හිමිපාණෝ වීභීෂණට නමස්‌කාරය කරමින් රාවණයින්ගේ ගුණ වැනූ අන්දම සැළලිහිණි සංදේශයේ 92 වැනි පද්‍යයෙන් මෙසේ පෙනී යයි.

මෑත යුගයේ සිටි මහා ඉතිහාසඥයෙක්‌ වූ මහාචාර්ය හාන්දු පැල්පොල පුඤ්ඤරතන නාහිමිපාණෝ ද රාවණ රජු ගැන භක්‌තියක්‌ තිබුණු ඉතිහාසඥයෙකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්‌වා පැවති රාවණ කොඩිය කොත්මලේ කොඩිය ලෙස රාජ සම්මත කළේ කීර්ති ශ්‍රී රාජසිංහ
- (1747 - 1781) රජතුමාය. (මන්දාරම් පුවත)

මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරන්දර අපවත්වී වදාළ අඹන්වැල්ලේ ශ්‍රී පඤ්ඤාසේකර හිමිපාණෝ දැනට දශක කීපයකට පෙර රාවණ රජුගේ නොදිරන දේහය නුවරඑළිය කඳුකරයේ ඇති බැව් පුවත්පත් ලිපියකින් හෙළිදරව් කළහ. එයට ප්‍රතිචාර ලෙස "රාවණ කෙප්පය" මැයෙන් මහාචාර්ය පරණවිතාන මහතා එම ලිපියට විරෝධය පළකර ඇත.

කතළුව අටදානවත්ත වලව්වේ රාජකීය පණ්‌ඩිත දොන් කොන්ස්‌ටන් ඔබේසේකර නමැති මේ ලියුම්කරුගේ ඥාතියා රාවණ රජු ගැන මෙසේ කියා ඇත.

රාවණ               ඇත්තා
හෙළ දැයේ      මී මුත්තා
දස බලය            ඇත්තා
ලොවේ මහ වික්‌ මැත්තා

(අමුද්‍රිත කවි එකතුව - 62 වැනි පද්‍යය) අපවත් වී වදාළ බද්දේගම විමලවංශ අනුනායක හිමිපාණෝ සිළුමිණ 1991 නොවැම්බර් 17 පත්‍රයට සපයා ඇත දීර්ඝ ලිsපියේ එක්‌ කොටසක්‌ ද මෙම ලිපියට ඇතුළත් කරන්නේ යක්‍ෂයන් කවුරුන්දැයි අවබෝධ කර ගැනීම පිණිසයි.

"දම්පියා අටුවාව ආදී පොත් යක්‍ෂ ජනතාව හඳුන්වා දී ඇත්තේ හෙළ යන නමිනි. දම්පියා අටුවාවේ පැහැදිලිවම කියන්නේ මෙරට ආදි ජනතාව හෙළයන් බවය. යක්‍ෂ, නාග දෙපිරිසම කතා කළේ හෙළ බසිනි. කුවේර නමින් සිටියේ යක්‍ෂ නායකයෙකි".

රාවණ රජුගේ වැඩිමහල් සොයුරු කුවේර ගැන දම්පියා අටුවාව පිළිගනී නම්, කුවේරගේ මලණුවන් වූ රාවණ පිළිනොගන්නේ ඇයි? යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිව් මහ ගෝත්‍රිකයන් මිනිස්‌ පිරිසකි. ඔවුන් මේ රටේ උරුමක්‌කාරයෝය.

ශ්‍රී ලංකාවේ හිටපු ඇමැතිවරයෙක්‌ වූද කථානායකවරයෙක්‌ වූ ද ගරු වි.ජ.මු. ලොකුබණ්‌ඩාර අධිනීතිඥතුමා රාවණ ගැන මෙසේ පවසා ඇත. "රාවණ කියන්නේ ඉතා හොඳ පූජනීය කෙනෙක්‌. එසේ මෙසේ කෙනෙක්‌ නොවේ. "අර්ක ප්‍රකාශ" වැනි වෛද්‍ය ග්‍රන්ථ එතුමා රචනා කළා. "ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොaත්‍ර" වැනි ග්‍රන්ථ එතුමා රචනා කළා. අපි සැබැවින් ද ආර්යයෝ මුටසීව රජතුමා ත්‍රී මූර්තියට සැලකුවේ.
- (හැන්සාඩ් - 1981 ජූලි 24 - පී. 1284)

හෙළ හවුලේ නායක ගුරු දෙවි කුමාරණතුංග මුනිදාස සූරීන් රාවණ චරිතය බහුමානයෙන් විමර්ශනයට ලක්‌කළ අග්‍රගණයේ පඬුවෙකි. අලවි ඉසි සැබිහෙළයෝ ද, කුමරතුඟු ගෝල බාලයන් වූ මහා කවි රැපියල් තෙන්නකෝන්, මහානාම දිසානායක, ජයන්ත වීරසේකර, අරිසෙන් අහුබුදු ආදී විද්වතුන්ගේ සම්භාවනාවට රාවණ රජතුමා ලක්‌ වූ බැව් අපි දනිමු.

රාවණාගේ පරපුර

මහා බ්‍රහ්මයාගේ පුත් පුලස්‌ථි සෘෂිවරයා රාවණ පරපුරේ ආදී පුරුෂයා ලෙස රාමායණය ඇතුළු මූලාශ්‍ර රැසක සඳහන්ව ඇත.

මෙම පිරිස යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිව් මහ හෙළයන් සම්මිශ්‍රණය වූ පරපුරක්‌ ලෙස සිතිය හැක. එම කාලයේ ලක්‌දිව - සිංහලේ කුලභේදයක්‌ නොතිබුණු බවට අපමණ සාක්‍ෂි ඇත.

මෙහි ඉහත සඳහන් සිව් කුලයටම සමාන පිළිගැනීමක්‌ තිබිණි. සතර වරම් දෙව් සංකල්පය ඊට නිදසුනකි.

උතුරු දේශයට අධිපති වූයේ යක්‍ෂ ගෝත්‍රික වෛශ්‍රවණය. යක්‍ෂ, නාග, දේව, පිසාච ගෝත්‍රිකයන් ලක්‌දිව විසූ බැව් මහාවංශයට සිය වසකට පෙර ලියන ලද දීපවංශයේ සඳහන්වේ.

(ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය - පිටු( 09)

උත්තරංච දිසං රාජා
සෝ යක්‌ඛාධිපති යසෝ
වෙස්‌සවන්ණෝ මහාරාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු

කුම්භාණ්‌ඩ හෙවත් දකුණට අධිපති දේව ගෝත්‍රික වරුළයට වන්දනා කිරීම(

දක්‌ඛංච දිසං රාජා
කුම්භාණ්‌ඩාධිපති යසෝ
විරුළ හෝ දේව රාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු

ගන්ධබ්බ ගෝත්‍රයට අයත් ධෘතරාශ්ට්‍ර නැගෙනහිරට අධිපතියාය.

පූරි මංච දිසං රාජා
ගණ්‌ධබ්භාධිපති යසෝ
ධත රට්‌බෝ දේව රාජානඃ
ඉදං පුඤ්ඤාණු මෝද තු

පශ්චිම දිසාවේ අධිපති ධුරය හිමිවූයේ විරූපාක්‍ෂයන්ටය. ඔහු නාග ගෝත්‍රිකයෙකි.

පංච මංච දිසං රාජා
සෝ නාගාධිපති යසෝ
විරූපක්‌ඛෝ දේව රාජා
ඉදං පුඤ්ඤාණු මෝද තු

දහම් එළිය - පිටු 216, 217 කපුගම්පොත ආනන්ද මෛත්‍රිය හිමි)

මහා බ්‍රහ්මයාට දරුවන් 13 කි. එයින් තිදෙනෙක්‌ ඉතා ප්‍රසිද්ධියට පත්වී ඇත. එනම් මරිචි, මනු සහ පුලස්‌ථිය. මරිචිගේ පුත්‍රයා කසිපර්ය. කසිපර්ගේ දරුවන් වූයේ ඉන්ද්‍ර, වරුණ සහ සූර්යයාය. සූර්යයාගේ පුත්‍රයා සමය.

මනුට ප්‍රජාපතී නම් පුතෙකි. ප්‍රජාපතීට අග්නි, වායු සහ සෝමබන්දු නම් පුතුන් තිදෙනෙකි. පුලස්‌ථිගේ බිරිඳ දේව වංශික දේවවරුණීය. පුලස්‌ථිගේ පුත්‍රයා විශ්‍රවස්‌ය. විශ්‍රවස්‌ගේ පුත්‍රයා කුවේර හෙවත් විශ්‍රවස්‌මුණිය. විශ්‍රවස්‌මුණිගේ දෙටු පුත්‍රයා ද කුවේරය.

ලෝකයේ අට දිශාව පාලනය කළේ මෙම පිරිසය. කුවේර ලෝකයේ උතුරු දෙසද, යම දකුණු දෙසද, වරුණ බස්‌නාහිර ද, චන්ද්‍ර ගිණිකොන ද, සූර්ය ඊසාන දෙස ද ආරක්‍ෂකයන් වූහ. (Rawana The Great - p.14)

කුවේර හෙවත් විශ්‍රවස්‌මුණි කාන්තාවන් සිව් දෙනෙක්‌ සමඟ විවාහ වී ඇත. එනම් පුශ්පෝත්කටා, කාලයී, සුමාලින් යක්‌ රජුගේ දියණියන් වූ කේකසී (කේසනි) දේව වංශික කුමරියක්‌ වූ පුලස්‌තිගේ බිරිඳ ද දේව වර්ණ නමින් යුත් කුමරියක්‌ වීම විමසා බැලිය යුත්තකි. මෙම විවාහ සම්බන්ධතා නාම විවිධ මූලාශ්‍රවල පරස්‌පර විරෝධී බැව් කිව යුතුය. විශ්‍රවස්‌මුණි හෙවත් කුවේරගේ පළමු බිරිඳ වූ පුෂ්පොත්කටා කුමරියට දරුවන් පස්‌ දෙනකි. එනම් කර්ණ, මහෝදරී, මරච, ප්‍රපාට්‌නි සහ කුම්භිනාසිය. තෙවැනි බිරිය කාලි, තිරිසර, දූෂනන්, විද්සුන් සහ සිවුක යන දරු සිව්දෙන ලැබුවාය. තෙවැනි බිරිය ව කෙකසී රාවණ, කුම්බකරණ, සුපර්නිකා සහ විභීෂණ ලැබුවාය. කුවේර හෙවත් විශ්‍රවස්‌මුණි රජුට ඉලවිලා නමින් බිරිඳක්‌ද සිටි බැව් ඇතැම් මූලාශ්‍රවල සඳහන් විය.

විභීෂණ නාග ගෝත්‍රික මාලනී කුමරියගේ පුත්‍රයා යෑයි ආරියදාස සෙනෙවිරත්න සූරීන් කියයි.

(ශ්‍රී ලංකා රාවණ රාජධානිය - පි.)

රාවණයින්ගේ මෑණියන් වූ කේසිණි අයත්වන්නේ යක්‍ෂයාගේ පරපුරටයි. එම යක්‍ෂ ද මහා බ්‍රහ්මයාගෙන් පැවතෙන්නකි. මෙම යක්‍ෂ හා රාක්‍ෂ ගෝත්‍ර දෙකම පැවතෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් බැව් සකු සාහිත්‍යයේ දැක්‌වේ.

හේටි සහ ප්‍රහේටි නමින් පුතුන් දෙදෙනෙක්‌ යක්‍ෂව සිටියහ. කාලගේ සොයුරියවූ පායාසි විවාහ වුණේ හේටි සමගය. විද්යුත්කේස විවාහවුණේ සාලා සමගය. සුකේසන් ඔවුන්ගේ පුත්‍රයාය. සුකේසන් දේවවතී සමග විවාහයෙන් පුතුන් තිදෙනෙක්‌ ලැබූ අතර, ඔවුන් මාල්‍යවන්, සුමාලීන් හා මාලී වූහ. සුමාලි කේතුමතී හා විවාහයෙන් ප්‍රහත, දණ්‌ඩක, දුර්මුඛ, කයිකේසී, පුශ්පොත්කටා සහ කුම්බිනාසී වූහ. රාවණ මෑණියන් වූ කයිකසී සුමාලි දියණියයි. විශ්‍රවස්‌මුණිගේ තවත් බිරිඳක්‌ වූ පුශ්පෝක්‌කටා ද සුමාලි රජුගේ දියණියකි. මාලි වාසුතා සමග විවාහ වූ අතර නීල, අනිල, හර, සම්බපති ආදීන් දූ පුතුන් වූහ. විශ්‍රවස්‌මුණි - කයීකසී පුත් රාවණ විවාහ වුණේ විශ්ව කීර්තියට පත් ගෘහ නිර්මාණ ශිල්පී මයදානවගේ දියණිය වූ මන්දෝදරී සමගය. එම විවාහ දිනයේ මනාලියට දායාද වශයෙන් මයදානවගේ මහ බලැති ත්‍රීශූලය රාවණාට දායාද කළේය. ඓතිහාසික සීගිරිය මාළිගා බල කොටුවේ වාස්‌තු විද්‍යාඥයාද මයදානව බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ ඇත.

මේ අනුව විමසා බලන කළ රාවණගේ පරපුර ලංකාවේ පමණක්‌ නොව මුළු මහා භාරතයේ ද පීරු රාජ්‍යයේ සහ ග්‍රීසියේ ද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත්‍ර නම් ශ්‍රී ලංකාවේ අපමණ ඇත. මහා භාරතයේ ද, ගී්‍රසියේ ද ඇත. රවුළු ගේ, හේවා රවුළු ගේ, රවුළු හේවාගේ රාවණගේ ආදී නම් වාසගම් දකුණු පළාතේ මාතර දිස්‌ත්‍රික්‌කයේ දැකිය හැක. රාවණ යනු අදත් අප අතර පවතින මහා බලවේගයක්‌ ඇති මහා පුරුෂයෙකුගේ ශ්‍රී නාමයකි. දශරථ රජු ඉන්දීය රාජාවලියේ ප්‍රබල වීරයෙකි. රාවණ රජතුමා දශරථ රජුගේ සමකාලිකයෙක්‌ වන අතර මිසරයේ ශත අප්රා රජුගේ ද චීනයේ චාහොව් රජුගේ ද සමකාලීනයෙක්‌ බැව් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ ඇම්. ඩබ්. සිරිසෝම මහතා පවසා ඇත. (සිළුමිණ 1991 ජූනි 16)

රාවණ රජතුමා ලාංකිකයෙක්‌ නොව ඉන්දියානුවෙක්‌ යෑයි ද, රාවණගේ ප්‍රදේශය ඉන්දියා මධ්‍ය ප්‍රදේශයේ පිහිටි ලංකා නමැති ගම යෑයි එච්. ඩී. සන්කිලියා පවසා ඇත. (Rawana's Lanka not Sri Lanka - The Sunday Times
of Sri Lanka - 1988. 06. 28) නමුත් රාවණගේ රට වත්මන් ශ්‍රී ලංකා හෙවත් සිංහලේ බව, රබීන්ද්‍රනාත් තාගෝර්, සර්වපල්ලි රාධ ක්‍රිෂ්ණන්, බී. ඇල්. බෂාම්, ආර්. සී. චිල්ඩර්ස්‌, මොනියර් විලියම්ස්‌, ඇම්. වින්ටර්නිව්ස්‌, සර් පොන්නම්බලම් අරුණාචලම්, ගුරුදෙවි කුමාරණතුංග මුනිදාස, රැපියල් තෙනනකෝන්, ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ, අරිසෙන් අහුබුදු ආදීන් පිළිගෙන ඇත. රාමායනය ලිවීමට දශරථ ජාතකය මූලාශ්‍ර වී ඇතැයි එක්‌ මහාචාර්යවරයෙක්‌ පවසා තිබේ. ජාතක කථා පොත ලිවීමට වසර දස දහස්‌ ගණනාවකට පෙර රාමායණය ලිය වී ඇති බැව් ඔහුට මතක්‌ කළ යුතුය. ලංකාවට නම් තිහක්‌ පමණ ඇති බැව් පැරණි මූලාශ්‍ර අනුව පෙනේ. නමුත් "ලංකා" නාමය හා සිංහලේ ඒ අතර වඩාත් වැදගත් වනු ඇත.

ලංකා නාමය යෙදී ඇත්තේ "ලක්‌ගල" ප්‍රධාන ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේ සූර්ය උදාව ප්‍රමුඛ අනිත් ග්‍රහ තරු ගැනීමට ඉතා පහසු ස්‌ථානය ලග්ගල වූ බැවින් ලක්‌ගල නාමය මුල්කොට "ලංකා" නාමය බිහිවී ඇතැයි "රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය" කියයි.

පුලතිසි රුසිවරුයා ලැග සිටිය         ගල
යක්‌ විරුවන් ගරුත්වෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන      ගල
ලක්‌ගල වාසනාවන් මේ තෙදැති     බල
- (ප්‍රාග් ඓතිහාසික උරුමය පි. 113)

ප්‍රාග් ඓතිහාසික යුගයේ ලක්‌දිව බෙහෙවින් කුරුඳු වගාව ජනප්‍රිය වී තිබුණ හෙයින් "සිංහලේ" යන නම ලැබී ඇතැයි ප්‍රකට විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ කියයි.
- (සිංහලයන්ගේ මූලාරම්භය - පි. 19)

සිංහලයෝ ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන් නොව ඔවුන්ගේ ප්‍රභවය මේ රටේම සිදුවූ රටේ නම වන සංස්‌කෘත භාෂාවෙන් කුරුඳුවලට නම වූ සිංහල - සීහල (පාලි), හෙළ (සිංහල) නමලත් ජාතියට අයත් වූහ. පුරාණයේ කවියන් විසින් මන්ද මාරුතය සහ මුසුවන, මුසු වී පැතිරෙන කුරුඳු ශාකවල සුවඳ වණනු ලැබුයේ ලංකාද්වීපය සම්බන්ධ කොට බැව් අපේ රටේ අද්විතීය මහා පඬුවෙක්‌ වූ ජේම්ස්‌ ද අල්විස්‌ මුදලිතුමා Cinnamon නමැති ශාස්‌ත්‍රීය ලේඛනයේ සටහන් කර ඇත. (Journal of the Royal Asiatic Society - p. 574 - mo 12 - 1860)

සකු බසින් කුරුඳු හැඳින්වෙන්නේ "සිංහල" යනුවෙන් බැව් සාරස්‌වතී නිගණ්‌ඩුවේ සහ අනිකුත් වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වී ඇත. මේ අනුව විමසා බලන විට රාවණයන් ද සිංහලයෙක්‌ - හෙළයෙක්‌ මිස අන්‍ය ජාතිකයෙක්‌ නොවන බැව් තහවුරු වේ. තම්බපණ්‌න නාමය ද කුරුඳු දලුවලින් පැමිණි නාමයකි. (තඹවර්ණ දලු) විදේශීය වෙළෙඳපොළේ ඉහළම තැන තිබුණේ ලංකාවේ කුරුඳුවලට සහ මැණික්‌වලටය. (සිංහලයන්ගේ මූලාරම්භය - පි. 50)

රාමායන ඇන්ඩ් ලංකා ග්‍රන්ථයේ රාම මහෙන්ද්‍රාගිරි සහ ත්‍රිකුටයට ආසන්න සුවේල ගිරි අතර යොදුන් සියයක්‌ දිග පාලමක්‌ බැඳි බවත්, මේ පාලම මන්නාරමේ සිට රාමේශ්වරම් දක්‌වා තිබෙන ආදම්ගේ පාලම නොවන බවත් පරම සිව අයියර් ප්‍රකාශ කරයි. (පිටුව - 111) ඊට හේතුව ලෙස ඔහු කියා තිබෙන්නේ එම ප්‍රදේශයේ කඳු නැතිවීමයි. නමුත් එම ප්‍රශ්නයේදී පරම සිව අයියර්ට වැරදුන බැව් කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ ස්‌ටැන්ලි ගාඩ්නර් නම් විද්‍යාඥයාගේ සොයා ගැනීම්වලින් පෙනී යයි.

මාතලේ සිට වැලිගම දක්‌වා හිරිගල් කඳු හා ගල්පර තිබුණ බැව් සඳහන් කරන ගාඩ්නර් දඹුල්ලට ආසන්නව අඩි 700 ක්‌ පමණ උස්‌ හිරිගල් කන්දක්‌ දුටු බැව් පවසා ඇත. (J.S. GARDNER - Fauna and Geography Of
Maldives and Laccadives Archipelago - p. 19) යාපනය අර්ධද්වීපය සහ ඒ අවට දූපත් එදා හිරිගල් කඳු බවත් ඒවායේ පාෂාණ භූත තත්ත්වය තමන්ට දකින්න ලැබුණ බවත් පවසන ඔහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගොඩබිමෙන් සම්බන්ධව තිබුණ බවත්, ඈත අතීතයේ ලංකාව මාලදිවයින් සහ මැඩගස්‌කරය දක්‌වා පැතිරී ඇති බැව් ස්‌ටැන්ලි ගාඩ්නර් අවසන් වශයෙන් පවසා ඇත. (එම)

රාවණ යුගයේ ගුවන් යානා

රාවණ යුගයේ ගුවන් යානා රැසක්‌ අප රට තුළ තිබුණු බවට සාක්‍ෂි ඇත. විමන් නම් විශාල ගුවන් යානා ද බිමන් නමින් GLIDER වර්ගයේ කුඩා ගුවන් යානා ද, පාපැදි ගුවන් යානා ද, වායු පා යානාද, කන්දක සිට තවත් කන්දකට ගමන් කරන BLOCK ගුවන් යානා අප රට තුළ තිබී ඇත. (ශ්‍රී ල. රාජධානිය - පි. 108)

එදා මෙදා ගුවන් යානාවල වෙනස නම් මොගලිනික යුගයේ ගුවන් යානා සුළං හා සූර්ය බල ශක්‌තියෙන් ක්‍රියා කිරීමෙන් වන්නේ ගුවන් යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රියා කිරීමත්ය. අප රටේ සෙල්ලිපි කිහිපයක එම ගුවන් යානාවල චිත්‍ර දැක ගත හැක. දූතක නම් වූ එම ගුවන් යානා නියමුවන්ගේ ප්‍රධාන ලෙන් ලිපිවල කොටා ඇත. (රාවණ අධිරාජයාගේ සංස්‌කෘතික උරුමය පි. 09)

බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩනැගීමට උපදෙස්‌ දුන්නේ, ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් මස සොයාගෙන ඇත. වසර 5500 ක ඉතිහාසයක්‌ ඇති බැබිලෝනියාව ද කඩුව අතින් ගත් සිංහ රුව ලාංඡනයෙන් යුක්‌තව ඇත. සිංහ ශරීරය පියාපත් දෙක සහ මිනිස්‌ මුහුණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන් යානය නිසාය. (සූරිය ගුණසේකර සාකච්ඡාව - දිවයින 2010. 08. 04) මෙම පුරාණ ගුවන් යානා රැසක චිත්‍ර "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ මා දැක ඇත.

සෙල්ලිපි

ජබල්පූර් හි ලංකා නම් කුඩා ගමක්‌ ඇත. එහි රාවණ දෙවොලක්‌ ඇත. එය ලංකාවෙන් සංක්‍රමණය වූ යක්‍ෂ ගොත්‍රිකයන් විසූ තැනක්‌ විය හැක. (රාවන්) රාවණගේ සෙල්ලිපි රැසක්‌ අද දක්‌වා නිරුපද්‍රිතව ඇත. එමෙන්ම රාවණගේ සෙල්ලිපි සියයක්‌ පමණ හරිහැටි කියවා නැත. රිටිගල සෙල්ලිපි රැසක්‌ කියවා නැත. සිව්මහ දමිළයන් හෙළ දිව පාලනය කළ යුගයේ 431 - 459 පස්‌මහ දමිළයන් රට පාලනය කළ යුගයේ ද, කාලිංග මාඝ (1213 - 1232) රට පාලනය කළ 440 - 454 යුගයේ ද, රාවණ සෙල්ලිපි විශාල ප්‍රමාණයක්‌ විනාශ කර ඇත. දැනට ඉතුරුව තිබෙන සෙල්ලිපි කීපයක්‌ මෙම විමර්ශන පත්‍රිකාවට එක්‌ කරමි.

රාවණගේ ශාස්‌ත්‍රීය සේවය

මහ රිසි පුලතිසිගේ මුණුපුරු වූ රාවණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ශාස්‌ත්‍රවන්තයෙකි.

සාම වේදය නමින් හඳුන්වන චතුර්වේදයේ එක්‌ කොටසක්‌ ලියා තැබීමෙන් රාවණගේ පාණ්‌ඩිත්වය මැනවින් පැහැදිලි වේ. ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොaත ලිවීමෙන් පමණක්‌ නොව එය රඟ දැක්‌වීමෙන් රාවණායෝ මහ කවියෙක්‌ මෙන්ම නර්තන විශාරදයෙක්‌ බැව් මුළු ලොවටම පෙන්වා ඇත. අර්ක ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, මඩ්ඩිසතන්ත්‍ර ආදී ග්‍රන්ථ ලිවීමෙන් හෝ වෛද්‍ය විද්‍යාවේ පරතෙරටම පැමිණියෙක්‌ ලෙස කිව යුතුය. ඔහු විනෝදය සඳහා ගිනි පෑගීම කළේය. ගිනි පෑගීමේ ශාස්‌ත්‍රය උපදෙස්‌ හා මන්ත්‍ර යන්ත්‍ර ඇතුළත් "අග්නි තන්ත්‍ර" ග්‍රන්ථය. රන්පත්වල ලියා තැබූ බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ සඳහන් වේ.

රාවණ හත්ථ "නමැති වීණාව ඔහුගේ නිර්මාණයකි. දැනට එම වීණාව උතුර සහ දකුණු ඉන්දියානු සංගීතඥයෝ භාවිත කරති. ජල තරංගය ද ඔහුගේ නිර්මාණයකි. මෙපමණ ප්‍රබල චරිතයකින් හෙබි රාවණයෝ 'කෙප්පයක්‌" ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට පෙනුනේ මහ විහාරය ශ්‍රී ලංකාවේ මෞලිතික යුගයේ ශිෂ්ටාචාරය ගැන නිහඬ අවතක්‌සේරුවක්‌ කළ නිසා විය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ගවේෂණ ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසු බැව් අපි දනිමු. අපේ රටට නිදහස ලැබිමට පෙර යක්‍ෂ ගෝත්‍රික ප්‍රජාව හැඳින් වූයේ යකුන් DEVILS වශයෙනි. ආදීවාසීන් හැඳින් වූයේ "වැද්දන්" වශයෙනි.

එයට ප්‍රධාන හේතුව නම් විදේශීය මිෂනාරී අධ්‍යාපනයයි. සිංහල උගතුන් ද මුදලි මුහන්දිරම් තනතුරු රැකගනිමින් විදේශීය ගුරු උපදේශවලට හිස නැමූහ. ඒ අතර අපේ අතීතය, ශිෂ්ටාචාරය පිළිබඳ දැඩි ආදර භක්‌තියෙන් කටයුතු කළේ වාසල මුදලි ඡේම්ස්‌ ද අල්විස්‌ මන්ත්‍රීතුමා, මහ මුදලි ලුවී ද සොයිසා මැතිතුමා, මුහන්දිරම් කේ. එච්. ද සිල්වා, විජය ශ්‍රී වර්ධන මැතිතුමා, අධිනීතිඥ ඩොනල්ඩ් ඔබේසේකර මැතිතුමා සහ ජී. පී. මලලසේකර මහාචාර්යතුමා ඇතුළු කිහිප දෙනකි. අවසන් වශයෙන් කිව යුත්තේ රාවණ යනු රාක්‍ෂ - යක්‍ෂ ගෝත්‍රික මහත් වූ බලයක්‌ ඇති මිනිසෙකි.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

මූලාශ්‍ර -

1. The Cultured Heritage of King Rawana.
2. Rawana - King of Lanka.
3. Journal of the Royal Asiatic Society.
4. Ramayanaya and Lanka.
5. The Sunday Tims.
6. Fauna and Geography of Maldives and
Laccadives Archipelago.
7. Rajatharangani.
8. The Gazeetter of Central Province - Lawrie.
9. විසුද්ධ මග්ග - පී. දේවානන්ද නාහිමි සංස්‌කරණය.
10. මන්දාරම් පුවත.
11. ප්‍රාග් ඓතිහාසික උරුමය - ඔබේසේකර.
12. රාවණ අධිරාජයාගේ සංස්‌කෘතික උරුමය.
13. රාමායනය - පී. එම්. පි. අබේසිංහ.
14. සිළුමිණ පත්‍රය.
15. රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය.
16. බටදඬු කඳුවැටියේ උරුමය.
17. කන්ද උඩරට සමාජ සංවිධානය - ඔබේසේකර.
18. හැන්සාඩ් - 1981 ජූලි.
19. සැළලිහිණි සංදේශය.
20 සිංහලයන්ගේ මූලාරම්භය - ආචාර්ය ඒ. එච්. මිරැන්ඩෝ.
21. දහම් එළිය - කටුගම්පොත ආනන්ද මෛත්‍රිය.
22. අමුද්‍රිත කවි එකතුව - පණ්‌ඩිත කොන්ස්‌ටන් ඔබේසේකර.
23. ශ්‍රී ලංකාදීප වර්ණනා - බී. එම්. ඔබේසේකර.
24. ශ්‍රී ලංකා රාවණ රාජධානිය - ආ. සෙනෙවිරත්න.
25. දිවයින පත්‍රය.

No comments:

Post a Comment