Friday, October 25, 2013

මහනුවර එජාප මනාප යළි ගණින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.......

මහනුවර එජාප මනාප යළි ගණින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. පසුගිය පළාත් සභා මැතිවරණයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලැබූ මනාප ප‍්‍රතිඵලය යළි ගණන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පළාත් සභා මැතිවරණයට එම දිස්ත‍්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් 12 දෙනෙක්. මැතිවරණයේ මනාප ප‍්‍රතිඵල ගණන් කිරීමේදී අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවට සඳහන් කරමින් ගොනුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා, මහනුවර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරිවරයා, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අනෙකුත් අපේක්ෂකයින් දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ප‍්‍රතිඵල සම්බන්ධයෙන් මහනුවර දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරිවරයා නිකුත් කළ නිල ප‍්‍රතිඵලත් ගණන් කිරීමේ නිලධාරිවරුන් විසින් නිකුත් කරන ලද මනාප ඡන්ද ප‍්‍රතිඵලත් අතර පරස්පරතාවක් පවතින බවයි පෙත්සම්කරුවන් එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ. පෙත්සම ගොනුකිරීමෙන් අනතුරුව මහනුවරදී 24 වෙනිදා මධ්‍යම පළාත් හිටපු පළාත් සභා මන්ත‍්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ ඇතුළු මෙම පිරිස මාධ්‍ය හමුවක්ද පැවැත්වූවා. මේ අතර, මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර, ඊයේ පැවැත්වුණා. එම පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස මාතලේ දිස්ත‍්‍රික්කයට තරඟ කර ජයග‍්‍රහණය කළ රංජිත් අලූවිහාරේ නම් කිරීමටයි එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබුණේ. කෙසේ වෙතත්, එම පළාත් සභාව අවසන් වරට රැස් වූ පසු පසුගිය 17 වැනිදා පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස මහනුවර දිස්ත‍්‍රික්කයේ ලකී ජයවර්ධන පත් කළ යුතු බවට යෝජනාවක් එහි සභාපතිවරයා වෙත භාර දුන්නා. පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනාගෙන් 12 දෙනෙකුම ඊට අත්සන් තබා තිබුණා. කෙසේ වෙතත්, ඊයේ පැවති සාකච්ඡාවේදී පක්ෂයේ උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කර ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදෙන බවට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පොරොන්දු වූ බවයි පළාත් සභා මන්ත‍්‍රී ලකී ජයවර්ධන කියා සිටියේ.

Sunday, October 20, 2013

අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන.......

ශ්‍රී ලංකාවේ සිටින යම්කිසි අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන ඉදිරියේදී රට තුළ කැලඹිලි ස්වභාවයක් ඇතිකිරීමට ඉඩ තිබෙන හෙයින් එයට මුහුණදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය තීරණය කොට තිබේ. එම අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සඳහන් කෙළේ කලින් පැවැති ත්‍රස්තවාදයට වඩා ඉතා භයානක ආකාරයෙන් එය පැමිණීමට ඉඩකඩ ඇති බැවින් ඒ සඳහා සූදානම් විය යුතු බවයි. පසුගියදා තමා කළුතර පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව උසස් නිලධාරීන්ට මේ අවදානම ගැන කරුණු පැහැදිලි කළ බව නන්ද මල්ලවාරච්චි මහතා ‘මව්බිම’ට පැවැසීය. එම ප්‍රතිසංවිධාන ක්‍රියාදාමය යටතේ නවීන පන්නයේ ගිනි අවි දැනට අවශ්‍ය නොවුණද දැනට තියෙන ගිනි අවියේ එක් උණ්ඩයකින් එක් අයකු බිම හෙළිය හැකි අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ගිනි අවි පුහුණු ශක්තිය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද මේජර් ජනරාල්වරයා පැවැසීය.