Monday, September 9, 2013

පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් කල අයුරු ....................

පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් කල අයුරු ......................

මෑත කාලයේ දැයට පහළ වූ මහා යතිවරයාණෝ අති පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ මූලධර්මවාදී මිසදුටුවන් විසින් අභිරහස් ලෙස අපවත් කර නව වසක් ගෙවුණද මේ වන තාක් එම ඝාතනය පිළිබද පිළිගත හැකි කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු වී නැත.

තවමත් ඝාතකයන් නිදැල්ලේය. ඝාතනයේ සියලු සාක්ශීන් මේ වන විටත් මකා දමා ඇතුවාට සැකයක් නැත. නිර්මල බුදු දහම මේ බිමෙන් තුරන් කරවීම සදහා ක්‍රියාත්මක කුරිරු අදිසි බලවේගය එදාටත් වඩා සක්‍රීයව අද අප අතරම සැරිසරයි. අදටත් නිශ්චිතවම නොවිසදුනු සෝම හිමි අභිරහස් අපවත් කිරවීම ගැන වෛද්‍ය බන්දුල සිරිවර්ධන මහතාගේ හෙළිදරව්වයි මේ...

සෝම හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක්.

ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබඳව තවමත් අපගේ මතය වන්නේ එය ස්වාභාවික මරණයක් නොවේය යන්නයි. එය මගේ පමණක් නොව ලංකාවාසී අති බහුතරයකගේත් අදහසයි. මෙම ඛේදනීය සිදුවීමෙහි කොතනක හෝ වරදක් සිදුවී ඇති බව අදටත් ජනතාව සිතති. නිසැකවම සෝම හිමියන් අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකින් විය හැකිය. (කෘතිමව ඇති කරන ලද)

එහෙත් කතාන්දරය එතෙකින් නිමාවට පත් නොවේ. බුද්ධිමත් පාඨකයාට මෙම ලිපිය පදනම් වන තර්ක පැහැදිලි කරදෙනුයේ මම මෙහිදී සරල උදාහරණයක් ගනිමි. ඒ මෙසේය. සුනිල් සහ නිමල් මිතුරු වෙසින් සිටින සතුරන් දෙදෙනෙකි. ඔවුහු දෙදෙනාම එක්ව නාන්නට ගියෝය. නිමල්ගේ ප්‍රමාදයක් බලා සුනිල් නිමල්ව නාන ළිඳට තල්ලු කළේය. අනතුරුව නිමල් මියයන තෙක් බලා සිට කෑ ගසා මිනිසුන් කැඳවා සිරුර ගොඩගෙන හඬා වැලපෙමින් තමාට නිමල් බේරා ගැනීමට බැරි වීම ගැන දුක් වූයේය.

අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා ඉතා උනන්දුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර පෙණහළු සියුම් ලෙස විච්ජේදනය කරමින් නිමල්ගේ මරණය දියේ ගිලී මියයාම බව තීරණය කළේය. නිමල්ගේ ප්‍රකාශය වූයේ මුත්‍රා කිරීම සඳහා තමා ළිඳ ළඟින් මඳකට ඉවත් වූ අවස්ථාවේදී මෙය සිදුවී ඇති බවය. වෙනත් සාක්ෂි තිබුණේ නැත.

මෙහිදී සිදු වූයේ කුමක්ද? මිනී මැරුමකි. මිනී මැරුමක් බව ඔප්පු කිරීම ඉතා අසීරු මිනීමැරුමකි. නමුත් මරණ පරීක්ෂණය සිදු කළ දොස්තර මහතාද කියන්නේ බොරු නොවේ. නිමල් මියගියේ දියේ ගිලීමෙනි. එය මරණයට හේතුවයි. හුස්ම ගැනීම නතර වී මොළය මියයාම සඳහා සිරුර අභ්‍යන්තරයේ ඇතිවන හේතුවයි. එහෙත් මරණ පත්කරු මරණයට පත්වීමේ සැබෑ හේතුව ඔහුව ජලයට තල්ලු කිරීමයි.

මේ අයුරින් මරණයට පත්වීමේ හේතුව සොයා ගැනීම සඳහා ‍පොලිසි සහ බුද්ධි අංශ අවශ්‍ය වේ. තර්කනය සහ සාක්ෂි අවශ්‍ය වේ.

මෙවැනි තන්හිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කරුණු ඉදිරිපත් කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ඉදිරිපත් කෙරුණු සාක්ෂිවලින් පෙනී යන්නේ සුව වෙමින් පැවැතැණු හෘදයාබාධයක් හදිසියේ උත්සන්න වීමෙන් සෝම හාමුදුරුවන් අපවත් වූ බවය. හෘදයාබාධයකින් මියයාමත් සුව වෙමින් පවතින හෘදයාබාධයක් හදිසියේ උත්සන්න වීමත් අතර බරපතළ වෙනසක් ඇත. මක්නිසාද යත් දෙවැන්නේ රෝග ප්‍රතිකාර මාලාවෙහි අසාර්ථකභාවයක්ද ගැබ්විය හැකි බැවිනි.

අද වන තෙක් කිසිවෙකු අධිකරණ වෛද්‍ය-වාර්තාවට අභියෝග කර නැති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. එය සත්‍යයකි. මෙම වෛද්‍ය වාර්තාව සම්බන්ධව අපට ගැටලුවක් නැත. කලින් කී උදාහරණයේ නිමල් දියේ ගිලී මියයෑම පිළිබඳව වෛද්‍ය වාර්තාව පිළිබඳව ගැටලුවක් නැති සේමය.

මෙම වෛද්‍ය වාර්තාවට අභියෝගයක් නැතැයි කීවද හිටපු ජනපතිනිය මේ ගැන සෙවීමට කොමිසමක් පත් කිරීමද ඊට එක්තරා ආකාරයකින් එල්ල වූ අභියෝගයකි. ඇය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට ප්‍රධාන සාධක පහක් ඔස්සේ කරුණු එක් කිරීමට සිදුවිය. සෝම හාමුදුරුවන්ගේ පෙර අසනීප වල සිට ගමනේදී අසනීප වීමත් අවසානයේ අපවත්වීම දක්වාම සියලුම කරුණුද මෙම වාර්තාවේ උන්වහන්සේට විරුද්ධවාදීන් සිටියේද, එසේ නම් කුමන්ත්‍රණයක් සිදු වූයේද යන්නද මෙහිදී ගැඹුරින් සලකා බැලුණි. කරුණු යෙදුණු ආකාරය පිළිබඳව යම් ආලෝකයක් ලබා ගැනීමට රුසියානු ගමන ආසන්නයේ ලංකාවේදී උන්වහන්සේගේ තිබුණු අරමුණු ගැන මඳක් විමසා බැලීම වටී.

උන්වහන්සේගේ අදහස වූයේ බුදු සසුන බේරා ගැනීමට සහ සිංහලයාගේ අභිවෘද්ධිය සඳහා මහා සංඝයාවහන්සේලාට දේශපාලන බලය අවශ්‍ය බවය. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සෝම හාමුදුරුවෝ වෙත විණි. මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේට මුදල්ද අවශ්‍ය විණි. එවකට උන්වහන්සේ ලබා තිබූ බොදු ජනතා ප්‍රසාදයේ කොතෙක්ද යත් ඕනෑම මැතිවරණයකදී උන්වහන්සේට බලය ලබා ගැනීමට හැකි බව මනාව පෙනෙන්නට තිබුණි. එසේම එසේ ලබාගන්නා බලය බෞද්ධයා උදෙසා මනා කැපවීමකින් යෙදවෙන බවද බෞද්ධ ජනතාව සුඛිත මුදිත කිරීමට ස්වාමීන් වහන්සේ එම බලය අනතුරුව යොදවන බවද පැහැදිලි විය. මෙම ලිපියට අදාළ නැති වුවත් මේ ලෙසටම දේශපාලන බලය ලබා ගැනීමට බලා‍පොරොත්තුව සිටි අවස්ථාවක උපාලි විජේවර්ධන මහතාද අබිරහස් ලෙස අතුරුදහන් විය.) උන්වහන්සේගේ මෙම අදහසම උන්වහන්සේට අභිරහස් සතුරන් නිර්මාණය කළ බව වටහාගත යුතුය.

උන්වහන්සේගේ මොස්කව් ගමන සංවිධානය කළේ සිසිර ජයසේකරය. ඔහු දේවගැතියෙකි. ඔහු හාමුදුරුවන්ගේ ‘ජන විජය’ පුවත්පතට පැමිණියේ ලලිත් කොතලාවල ළඟ සිටියදීය. ඔහු මෙම රැකියාවට පැමිණියේ හාමුදුරුවන්ට තමා කවුදැයි සඟවා බවට සාක්ෂි දැකිය හැකිය. හාමුදුරුවන් දිගටම ඔහු ඇමතුවේ “මිස්ට ජයසේකර යනුවෙනි. උන්වහන්සේ ආචාර්ය උපාධිය සමග කෝටි දහයක මුදලක් රුසියාවේදී ලබාදෙන බවට සපථ කළේ ක්‍රිස්තියානි මූලධර්ම කණ්ඩායමකි. උන්වහන්සේගේ ධර්ම දේශනා තුළින් දේව විශ්වාසවලට පහර පිට පහර වැදෙමින් තිබූ බව මෙහිදී අප අමතක නොකළ යුතුය. මේ පසුබිම යටතේ උන්වහන්සේ සිටියේත් මෙම රුසියානු ගමන සිදු වූයේ මිතුරන් අතරම නොවන බව පැහැදිලිය. සාමාන්‍ය තත්ත්වයකදී වුවද හෘදයාබාධයකින් සුවය ලැබිම අසීරු කටයුත්තක් වන අතර සතුරන් අතර දී සුවය ලැබිම ඉමහත් අසීරු කටයුත්තකි.

දැන් අපි මෙම සිදුවීමෙහි කාලාන්තරය නිරූපණය කළ යුතුය. උන්වහන්සේට පපුවේ අමාරුව වැලදුනේ මොස්කව් ගමනේ දවෛනි කොටසේදීය. පළමුවෙනි කොටසෙහි දී උන්වහන්සේ සමග මිතුරු මහේස්ත්‍රාත්වරයෙක් සිටියේය. ඔහු සමග සිටි කාලය තුළ උන්වහන්සේට අපහසුවක් නොවූ බව ඔහු පවසයි. 2003-10-11 දින මොස්කව් නගරයට සෙන්දුවනවාත් සමගම හෘදයාබාධය වැලදිනි. නමුත් ප්‍රතිකාර ගැනීමට නතර නොවී උන්වහන්සේ කි.මී. 700 දුරින් වූ පීටර්ස්බර්ග් නුවරට කැඳවාගෙනගොස් එහි රෝහලට ඇතුලත් කරන ලදී. දරුණු හෘදයාබාධයක් වැලඳී ඇති බව දැන ගත් එහි හෘද රෝග ඒකකය ඇන්ජියෝ ප්ලාස්ට් සැත්කම තුළින් Stem කපාටයක් සවි කරන ලදී. ඉන් අනතුරුව දින 3ක් දැඩිසත්කාර ඒකකයේදී අනතුරුව සති 2ක් හෘද රෝග ඒකකයේ උන්වහන්සේ ප්‍රතිකාර ලබා සුව විය. ඉන් අනතුරුව උන්වහන්සේ විවේක සුවයෙන් “රැසිනා” නමැති හෘද රෝග පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියේය. 2003-11-30 වන විටත් උන්වහන්සේ සිටියේ ‘රැසිනා’ හීය. මේ වන විට උන්වහන්සේ උපාධි සහතික පත්‍රයක් ලැබි තිබුණි.

2003/12/2 උන්වහන්සේ නැවතත් නාගරික රෝහලට වැඩම කරන්නේ තව දුරටත් හෘද සැත්කමක් අවශ්‍යදැයි දැන ගැනීමටය. 2003/12/8 උන්වහන්සේව පූර්ණ පරීක්ෂාවකට භාජනය කළ වෛද්‍යවරු උන්වහන්සේගේ තත්ත්වය සතුටුදායක බවත් හදිසි සැත්කමක් අනවශ්‍ය බවත් පැවැසුහ. මෙය ඉතා වැදගත් ප්‍රකාශයකි. මොස්කව් බෞද්ධ සමිතියේ රූපසිරි පෙරේරා මහතාගේත් තානාපතිතුමාගේත් එසේම ච්ප. කරුනාණන්දගේ ප්‍රකාශවලිනුත් උන්වහන්සේ මැනවින් සුවය ලබමින් සිටි බව පැහැදිලි වේ. උන්වහන්සේට ඉතිරිව තිබුණේ සියරටට පැමිණීම පමණි.

දැන් ඉතින් අපි මෙම ජාතික ව්‍යසනයේ අවසාන දින වෙත පමිණෙමින් සිටිමු. දෙසැ. 8,9,10 උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බව පෙනේ. එහෙත් දෙසැ. 12 තත්ත්වය හදිසියේ වෙනස් විණි. ඒ සමගම උන්වහන්සේ දැඩිසත්කාර ඒකකයට ඇතුල් කරන ලදී. මම සිතන ආකාරයට කුමන්ත්‍රණයේ උග්‍රම අවස්ථාවට පැමිණියේ දෙසැ 11 වනදා බවය, උන්වහන්සේ ස්වාභාවික අපවත්වීමකට ගමන් කරන්නේ ද යන්න පිළිබඳව කුමන්ත්‍රණකරුවන් විමසිලිමත් වන්න ඇති. එසේ නොවන තැන යම්කිසි මැදිහත් වීමක් සිදු කළ බව පෙනේ. මෙවැනි ඉතා නවීන රෝහලකදී කෘතහස්ත වෛද්‍යවරුන් අතරේ ඉතා මැනවින් උන්වහන්සේ ප්‍රතිකාර ලද බව පැහැදිලිය. දියවැඩියාව, රුධිර පීඩනය පාලනය කර රුධිරය කැටි නොගැසෙන Clopidogrel වැනි බෙහෙත් උන්වහන්සේ ලබාගන්නට ඇත. මේ වෙන විට Stem එකක් දමා මාස දෙකක් ඉක්මගොස් ඇත. දෙසැ 8 වනදා උන්වහන්සේ පරීක්ෂා කළ වෛද්‍යවරු උන්වහන්සේගේ තත්ත්වය සතුටුදායක බව පැවැසූහ. සියල්ල උඩු යටිකුරු වුයේ 11 වනදා රාත්‍රියෙහිය. සිදු වුයේ කුමක්ද යන්න නිශචිතවම කිව නොහැකි නමුත් මගේ පෞද්ගලික මතය එය ‍පොටෑසියම් ලවණය ශරීර ගත කිරීමක් විය හැකි බවයි.

- වෛද්‍ය බන්දුල සිරිවර්ධන.

No comments:

Post a Comment